ඕස්ට්‍රේලියාවේ අඩු වයසින් විවාහ වී පසුව දික්කසාද වන තරුණ තරුණියන්ගේ සහ විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව Australian Bureau of Statistics (ABS) හි නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

සමාජීය සහ ආගමික බලපෑම් මෙන්ම පවුලේ බලාපොරොත්තු නිසා වයස අවුරුදු 16 ත් 24 ත් අතර කාලය තුළ විවාහ වන බොහෝ තරුණියන්, පසුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ මානසික පීඩනයන්ට ලක්වන බවයි වාර්තා වන්නේ. Natalie Hancock සහ Brenda වැනි තරුණියන් පෙන්වා දෙන්නේ, අඩු වයසින් සිදුවන මෙම විවාහයන් වැඩි කාලයක් පවත්වාගෙන යාමට නොහැකිව වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත වෙන් වීමට සිදු වූ බවයි.

විශේෂයෙන්ම විදේශයන්ගෙන් පැමිණෙන සංක්‍රමණික කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් සංස්කෘතිකමය බලපෑම් සහ භාෂා බාධක නිසා මෙවැනි හිංසනයන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව දික්කසාද පිළිබඳ නීතිඥ Cassandra Kalpaxis සඳහන් කරනවා.

කෙසේ වෙතත්, පවතින ගෘහස්ථ හිංසනයන්ගෙන් මිදී දික්කසාද වී නැවත ස්වාධීන ජීවිතයක් ආරම්භ කිරීමට මෙම තරුණ කාන්තාවන් මේ වන විට පෙළඹෙමින් සිටින බවයි වාර්තා වන්නේ.