ඉදිරි නත්තල් සහ උත්සව සමයේ පාර්සල් බෙදාහැරීමේ කටයුතු ඉහළ යාම හේතුවෙන්, ඕස්ට්‍රේලියානු තැපැල් සේවය තාවකාලික සේවකයින් 3500 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ලියුම් සහ පාර්සල් තේරීම, ගබඩා කටයුතු සහ බෙදාහැරීම් සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සිට මෙම පිරිස එක්කර ගැනීමට නියමිතයි. වයස අවුරුදු 16ට වැඩි ඕනෑම අයෙකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර, අවුරුදු 21ට වැඩි ලියුම් තෝරන්නන්, වෑන් රථ සහ ෆෝක්ලිෆ්ට් රථ රියදුරන් සඳහා පැයකට ඩොලර් 35.83ක මුදලක් ගෙවීමට නියමිතයි. එමෙන්ම ට්‍රක් රථ රියදුරන් සඳහා පැයකට ගෙවන මුදල ඩොලර් 42.26 සිට ආරම්භ වෙනවා.
පසුගිය නත්තල් සමයේදී පමණක් පාර්සල් මිලියන 103කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැරීමට මෙම තාවකාලික සේවකයින් සහාය වූ බව සඳහන් කරන ඕස්ට්‍රේලියානු තැපැල් සේවය, නිවාඩු සමයේ අමතර ආදායමක් උපයා ගැනීමට කැමති පිරිස් සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.



