අධික ණය බරින් මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින Bathla Group නිවාස සංවර්ධන සමාගම, සිය සේවකයින්ගෙන් 60% ක පමණ පිරිසක් එනම් සේවකයින් 213 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ ණය හිමියන් කිහිපදෙනෙකු සමඟ ඇතිකරගත් කෙටි කාලීන මුදල් සම්පාදන ගිවිසුමකට අනුවයි.
ඒ අනුව ඩොලර් මිලියන 3 ත් 5 ත් අතර මෙම තාවකාලික මුදල් සම්පාදනය මඟින් ඉදිරි සති දෙකක කාලය සඳහා සමාගමේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් පමණක් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව හිමිව තිබෙනවා. කෙසේ වෙතත් මුදල් ප්‍රතිපාදන නොලැබුණු අනෙකුත් ව්‍යාපෘතිවල කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඩොලර් බිලියන 3.4 ක දැවැන්ත ණය බරකින් පෙළෙන මෙම සමාගම අර්බුදයට ලක්වීමත් සමඟ, NSW හි නිවාස 2,000 කට ආසන්න ප්‍රමාණයක ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති 200 ක අනාගතය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.



