Atherton Tablelands හි Malanda ප්‍රදේශයේ වසර 116 ක් පැරණි ඓතිහාසික දුම්රිය සේවක නිවසක් වෙනත් අයෙකුට වඩා ඩොලර් 60,000 ක අඩු ලංසුවක් තබා හිමිකර ගැනීමට Karli Bryant නමැති 25 හැවිරිදි තරුණියක් සමත්ව තිබෙනවා.

මෙම අද්විතීය ජයග්‍රහණයට හේතු වී ඇත්තේ ඇය විසින් නිවසේ අයිතිකාරිය වෙත යොමු කරන ලද හෘදයාංගම ලිපියකුයි.

Western Australia හි වෙසෙන 90 හැවිරිදි වියේ පසුවන හිමිකාරිය වෙත ලිපියක් යොමු කරමින් Karli සඳහන් කර තිබුණේ, තමන් එම ප්‍රදේශයේම හැදී වැඩුණු අයෙකු බවත්, මෙම ඓතිහාසික නිවස විනාශ නොකර අනාගතය වෙනුවෙන් සුරක්ෂිතව නඩත්තු කරන බවත්ය.

වෙනත් ලංසුකරුවන් ඩොලර් 60,000 ක් දක්වා වැඩි මුදලක් යෝජනා කර තිබුණද, ඔවුන් එම පැරණි නිවස කඩා දමා අලුතින් ගොඩනැගිලි ඉදි කිරීමට සැලසුම් කර තිබූ බවයි Elders Real Estate හි Janine Rielly සඳහන් කළේ. ඒ අනුව, පැරණි නිවස සුරැකීමටත්, තරුණ පරම්පරාවට නිවසක හිමිකම ලබාදීමටත් අවස්ථාව දෙමින් අයිතිකාරිය විසින් අඩු ලංසුව තැබූ Karli හට නිවස ලබාදීමට තීරණය කර තිබෙනවා.

Far North Queensland ප්‍රදේශයේ නිවාස මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන වටපිටාවක, මෙවැනි වාසනාවන්ත අවස්ථාවක් හිමිවීම පිළිබඳව Karli දැඩි සතුටට පත්ව සිටිනවා.