ඕස්ට්‍රේලියානු රජය විසින් වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදෙන පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනය සීමා කිරීමට යෝජනා කිරීමත් සමග, එරට වැඩිහිටි ජනතාව විශාල වශයෙන් සිය පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ අවලංගු කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

නව සංශෝධන යටතේ රක්ෂණ ගාස්තු 4% සිට 8% දක්වා ප්‍රමාණයකින් ඉහළ යනු ඇති අතර, වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතින උද්ධමනයත් සමග ලබන අප්‍රේල් මාසය වන විට එම ගාස්තු 12% දක්වා ඉහළ යා හැකි බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වැඩිහිටි යුවළකගේ වාර්ෂික රක්ෂණ ගාස්තුව ඩොලර් 1,000 කට වඩා වැඩි හිඟ මුදලකින් ඉහළ යනු ඇති.

Private Healthcare Australia ආයතනය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 62,000 ක් පමණ රක්ෂණ භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමටත්, තවත් 200,000 ක් පමණ අඩු පහසුකම් සහිත රක්ෂණ ක්‍රම වෙත මාරු වීමටත් ඉඩ ඇති බවයි.

ප්‍රාදේශීය සෞඛ්‍ය පිළිබඳ විපක්ෂ ඇමති සහ Mallee ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Anne Webster අනතුරු අඟවන්නේ පුද්ගලික රක්ෂණ අතහැර දමන රෝගීන් රජයේ රෝහල් වෙත යොමුවීම නිසා, දැනටමත් කාර්යමණ්ඩල හිඟයකින් පෙළෙන South Australia, New South Wales, Queensland සහ Tasmania ඇතුළු ප්‍රාන්තවල නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය Mark Butler මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, මෙම සංශෝධනය හරහා ඉදිරි වසර හතර තුළ රජයට ඉතිරි වන ඩොලර් බිලියන 3 ක මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ aged care සේවා නැංවීම සඳහා නැවත ආයෝජනය කරන බවයි.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සෙනෙට් මණ්ඩල කමිටු වාර්තාව ඔක්තෝබර් 7 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.