Victoria හි රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 10,000ක් පමණ වැටුප් සහ සේවා කොන්දේසි මුල් කරගනිමින් මේ සතිය අගදී වැඩ වර්ජනයකට යොමු වීමට සූදානම් වෙනවා.

ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ක්‍රියාමාර්ගය සමස්ත Victoria ප්‍රාන්තය පුරාම ව්‍යාප්ත වන අතර, පසුගිය මාස දෙක ඇතුළත වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන තෙවන අවස්ථාව මෙයයි. හදිසි අංශවල සේවාවන්ට මෙයින් බාධාවක් නොවන නමුත්, සැලසුම් කළ ශල්‍යකර්ම ප්‍රමාද විය හැකි බවයි Australian Medical Association (AMA) ආයතනය පවසන්නේ.

පැය 12.5ක උපරිම සේවා කාලයක් සහ අඛණ්ඩ රාත්‍රී සේවා කාලය සීමා කිරීම සහ වසර හතරක් ඇතුළත 28%ක වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටිනවා. මාස 14ක් පුරා සාකච්ඡා පැවැත්වුවද Carroll රජය පාර්ශවයෙන් මෙතෙක් සාර්ථක විසඳුමක් ලැබී නැති බවත්, අධික සේවා කාලය නිසා වෛද්‍යවරුන් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටීම රෝගීන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් වෛද්‍ය සංගම් පෙන්වා දෙනවා.