ඕස්ට්‍රේලියාවේ Labor පක්ෂ රජය මෙරට සංක්‍රමණිකයන් ප්‍රමාණය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර, විපක්ෂයටද මේ සඳහා නිසි විසඳුමක් නොමැති බව වාර්තා වනවා. පසුගියදා සරණාගතයින් ලබාගැනීම 20,000 සිට 13,750 දක්වා අඩු කිරීමට සූදානම් වන බවට පැතිර ගිය පුවතත් සමඟ Labor පක්ෂය අභ්‍යන්තරයේ ලොකු නොසන්සුන්තාවක් ඇති වුණා. මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ අගමැති Anthony Albanese වහාම මැදිහත් වී එම කප්පාදුව සිදු නොකරන බවට තහවුරු කළා. එහෙත්, රට තුළ පවතින නිවාස හිඟය සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු හමුවේ සංක්‍රමණික ප්‍රතිපත්තියේ විශාල වෙනසක් කිරීමට රජය මේ වන විට සැලසුම් කරමින් සිටිනවා.

කොවිඩ් වසංගතයෙන් පසුව ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශිෂ්‍යයන්, සංචාරකයන් සහ සේවකයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එයින් Net Overseas Migration (Nom) දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගියා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයන් සදහා වන නීති තද කිරීම, කොන්දේසි කැඩූ අය රටින් පිටුවහල් කිරීම සහ විසා කාලසීමාවන් අඩු කිරීම වැනි පියවර කිහිපයක් රජයේ අවධානයට යොමු වී තිබෙනවා. විශේඥයන් පෙන්වා දෙන්නේ සංක්‍රමණික සංඛ්‍යාලේඛන මත පමණක් පදනම් නොවී, රටේ ආර්ථිකයට සහ රැකියා වෙළඳපොළට ගැලපෙන ලෙස නීති සකස් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විපක්ෂයට හෝ One Nation වැනි අනෙකුත් දේශපාලන පක්ෂවලටද පැහැදිලි හෝ ප්‍රායෝගික ප්‍රතිපත්තියක් නැති බවට විවේචන එල්ල වනවා. ඉදිරි සති කිහිපය ඇතුළත අගමැති Anthony Albanese සහ Home Affairs අමාත්‍ය Tony Burke විසින් ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.