ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස හිඟය සහ පොදු පහසුකම් පිළිබඳ අර්බුද හමුවේ, මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සිය සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි මතවාදී සටනක නිරත වෙනවා. මේ සම්බන්ධයෙන් Labor රජය, One Nation, Coalition සහ Greens පක්ෂ ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනා මෙන්න.
Labor රජයේ සැලසුම: දැනට 292,100ක් වන ශුද්ධ සංක්‍රමණික සංඛ්‍යාව ඉදිරි වසර කිහිපය තුළ 225,000 දක්වා පාලනය කිරීමට Labor රජය බලාපොරොත්තු වනවා. ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් කැඳවාගෙන ඒම සීමා කිරීම, සංචාරක රැකියා වීසා සඳහා ballot ක්‍රමයක් හඳුන්වා දීම සහ වීසා කාලය ඉක්මවා සිටින 77,000කට ආසන්න පිරිස අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීම මීට ඇතුළත්. කෙසේ වෙතත් ඉදිකිරීම්, සෞඛ්‍ය සහ අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබාදීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.
One Nation පක්ෂයේ යෝජනාව: ඉදිරි වසර 3 තුළ තාවකාලික වීසා ලාභීන් ලක්ෂ 7.5කින් කපා හැරීමටත්, වාර්ෂික සංක්‍රමණික සීමාව 130,000 දක්වා දැඩි ලෙස පහත දැමීමටත් Pauline Hanson ගේ පක්ෂය යෝජනා කරනවා.
විපක්ෂයේ යෝජනාව: රට තුළ අලුතින් ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාවට (වසරකට 170,000ක් පමණ) සරිලන පරිදි සංක්‍රමණිකයන් සංඛ්‍යාව සීමා කිරීමට Coalition පක්ෂය සැලසුම් කර තිබෙනවා. එමෙන්ම "ඕස්ට්‍රේලියානු අගයන්" (Australian values) ආරක්ෂා කිරීම වීසා ලබාදීමේ නීතිමය කොන්දේසියක් බවට පත්කිරීමටද ඔවුන් යෝජනා කරනවා.
Greens පක්ෂයේ ස්ථාවරය: සංක්‍රමණිකයන් කපා හැරීමට එකඟ නොවන එකම පක්ෂය වන Greens, මානුෂීය වීසා සංඛ්‍යාව 50,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා. නිවාස අර්බුදයට හේතුව සංක්‍රමණිකයන් නොවන බව පවසන ඔවුන්, Labor රජය Pauline Hanson ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවට චෝදනා කරනවා.



