ඕස්ට්‍රේලියාවේ වීසා නීති සංශෝධනය කිරීම නිසා ආහාර මිල ගණන් ඉහළ යන බවට ගොවීන් නගන චෝදනා ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. National Press Club හිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, working holidaymaker හෙවත් සංචාරක රැකියා වීසා ක්‍රියාවලිය වේගවත් කිරීම කෘෂිකාර්මික ක්ෂේත්රයට ලැබුණු විශාල ජයග්‍රහණයක් බවයි.
කෙසේ වෙතත්, National Farmers’ Federation හි ප්‍රධානී Mike Guerin පවසන්නේ සංචාරක රැකියා වීසා සීමා කිරීම නිසා ඉදිරි අස්වනු නෙළන සමයේදී දැඩි ශ්‍රම හිඟයක් ඇතිවී, ආහාර මිල ගණන් ඉහළ යා හැකි බවයි. ඊට පිළිතුරු දෙමින් Tony Burke සඳහන් කළේ, අඩු පඩියට ශ්‍රමිකයන් සූරාකෑම මත ආහාර මිල අඩු කරගැනීමට ඕස්ට්‍රේලියානුවන් බලාපොරොත්තු නොවන බවයි.
එමෙන්ම මෙවර සංශෝධන මගින් සෞඛ්‍ය, ඉදිකිරීම් සහ වැඩිහිටි සත්කාර සේවා වැනි අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇති අතර, නීතිවිරෝධී ලෙස රැඳී සිටින පිරිස් පාලනයට නිලධාරීන් 100 දෙනෙකු අලුතින් අනුයුක්ත කිරීමටද Labor රජය සැලසුම් කර තිබෙනවා.



