ඕස්ට්‍රේලියාවේ විදේශිකයන් පැමිණීම සීමා කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන දේශපාලන සංවාදය විනාශකාරී තරගයක් බවට පත්වෙමින් ඇති බව South Australian ප්‍රාන්ත අගමැති Peter Malinauskas පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වෘත්තීය නිපුණතා සහිත සංක්‍රමණිකයන් (skilled migrants) සීමා කිරීම රටේ ආර්ථිකයට සිදුකරගන්නා ස්වයං හානියක් බවයි.
මේ අතර, ශුද්ධ විදේශ සංක්‍රමණය පාලනය කිරීම සඳහා Labor පක්ෂය සහ Coalition විපක්ෂය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය, Anthony Albanese හමුවූ විපක්ෂ නායක Angus Taylor පවසා සිටියේ වාර්ෂිකව පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 170,000 දක්වා අඩු කළ යුතු බවත්, එය රටේ ඉදිකරන නිවාස සංඛ්‍යාවට සාපේක්ෂව තීරණය විය යුතු බවත්ය.
කෙසේ වෙතත්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, Tony Burke නිකුත් කිරීමට නියමිතව තිබූ නව සංක්‍රමණික ප්‍රතිපත්තිය තවමත් ප්‍රකාශයට පත්කර නැහැ. පවුල් වීසා නීති තද කිරීම, විදේශීය සංචාරකයන්ට සීමා පැනවීම සහ සරණාගතයන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම මෙයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මේ අතර ACCI ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන රජයෙන් ඉල්ලා සිටින්නේ රැකියා සහ සංචාරක වීසා සීමා නොකරන ලෙසයි. ඉදිරි ග්‍රීෂ්ම ඍතුවේදී රටේ සංචාරක, කෘෂිකාර්මික සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රවල පවතින දැඩි සේවක අර්බුදයට මෙය සෘජුවම බලපාන බව එම සංවිධාන අවධාරණය කරනවා.



