ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික පද්ධතියේ සිදුකිරීමට නියමිත දැවැන්ත සංශෝධනයක් සමඟින්, විදේශීය සිසුන්ට සිය පවුලේ සාමාජිකයින් (Dependents) ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ තහනම් කිරීමට Albanese රජය සූදානම් වන බව වාර්තා වනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් හෙට දිනයේදී මෙම නව ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. 2028 වන විට ශුද්ධ විදේශ සංක්‍රමණය (Net Overseas Migration) 300,000 සිට 225,000 දක්වා අඩු කරගැනීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. පසුගිය මුදල් වර්ෂයේදී නිකුත් කළ ශිෂ්‍ය වීසා 337,427න් 45,991ක්ම ලබාදී ඇත්තේ සිසුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහායි.

මෙයට අමතරව, තාවකාලික වීසා මත සිටිමින් සරණාගතභාවය (Protection claims) ඉල්ලුම් කරමින් වසර ගණනාවක් රට තුළ රැඳී සිටින "Visa hopping" ක්‍රියාවලිය වැළැක්වීමට සහ Bridging Visa මත සිටින පිරිසගේ රැකියා අයිතිය සීමා කිරීමටද රජයේ අවධානය යොමු වී තිබෙනවා. අදාළ සංශෝධන පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරගැනීමට බලාපොරොත්තු වන අතර, ඊට සහාය නොලැබුණහොත් වෙනත් විධායක බලතල භාවිත කර හෝ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය Tony Burke වැඩිදුරටත් සඳහන් කළේ.