ඕස්ට්‍රේලියාවේ වීසා කාල සීමාව අවසන් වූ පසුවත් රැඳී සිටින 77,000 කට ආසන්න පිරිස ඉවත් කිරීම සඳහා Border Force නිලධාරීන් 100 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙයින් ඇමරිකා එක්සත් ජනපදයේ ICE ආයතනය ක්‍රියාත්මක කරන ආකාරයේ දැඩි වැටලීම් සිදු නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke සහතික වෙනවා.

නීතිමය පියවර නොගැනීම නිසා මෙම පිරිස රටින් පිටවීමට උනන්දුවක් නොදක්වන බවත්, ඉදිරියේදී ඔවුන් detention centres වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. මෙහිදී Melbourne හි පැරණි quarantine facility වැනි ගොඩනැගිලි නැවත භාවිතයට ගැනීමටද නියමිතයි. 2015 වසරට පෙර පැවැති සාමාන්‍ය ක්‍රමවේදයට නැවත අවතීර්ණ වන බවත්, මෙය බිය විය යුතු මෙහෙයුමක් නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

කෙසේ වෙතත් මෙම පියවර Greens පක්ෂයේ සහ Human Rights Law Centre හි දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. Greens සෙනෙට් සභික David Shoebridge චෝදනා කරන්නේ මෙය Tony Abbott පාලන සමයේ පැවැති අතිශය දැඩි නීති නැවත ක්‍රියාත්මක කිරීමක් බවයි.

එසේම, රට තුළ temporary bridging visas මත රැඳී සිටින 400,000 කට අධික පිරිස පාලනය කිරීමටත්, "visa hopping" හෙවත් වීසා බලපත්‍ර එකින් එක වෙනස් කරමින් දිගින් දිගටම රැඳී සිටීමේ ක්‍රමවේදයන් වැළැක්වීමටත් රජය දැඩි තීරණ ගැනීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke වැඩිදුරටත් සඳහන් කළා.